Sunday, October 22, 2017

කඨින දාන මහා පින්කමේ ආනිසංස



අට මහ කුසල් බෞද්ධයන් අතර, ඉතා ප්‍රසිද්ධ ය.

එහි මුල් තැන ලැබෙන්නේ කඨිනයට යි. බුද්ධ ශාසනයේ උසස්ම ආනිශංස ගෙන දෙන මහ කුසල් අට හැටියට දක්වා තිබෙන්නේ.

කඨිනට්ඨ පරික්ඛාරං
වාසදානංච උත්තමං
බුද්ධ පමුඛ සංඝස්ස
දානං ධම්මස්ස ලේඛනං
ඛෙත්ත දානං ච බුද්ධස්ස
පටිමා කාරණං පිච
කරණං වච්චකුටියා
අට්ඨ පුඤ්ඤාති චුච්චරේ (කඨින විනිශ්චය)

ඉහත ගාථාවේ සඳහන් වන පරිදි අට මහ කුසල් වන්නේ,
1. කඨින දානය,
2. අටපිරිකර පූජාව,
3. ආවාස සාදා පූජා කිරීම,
4. බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දන් දීම,
5. ධර්මය ලිවීම,
6. කෙත්වතු පිදීම,
7. බුද්ධ ප්‍රතිමා කරවීම,
8. වැසිකිලි කැසිකිළි සෑදීම යන පූජාවන් ය. පුරාණ ආචාර්යවරයන් වහන්සේ පැහැදිලි කර ඇති පරිදි මෙම අට මහ කුසල අතරින් ද, ප්‍රමුඛස්ථානයෙහිලා සලකා ඇත්තේ කඨින පූජාව යි.

පංචානන්තරිය පාප කර්මය කරගෙන නැති නම්, ඊළඟ භවය ඒකාන්තයෙන්ම සුගතිගාමී වීමට මෙම කඨින දාන මහා පින්කමේ ආනිසංස හේතු වන්නේ ය. කඨින දානය එසේ ඉදිරියෙන් සිටීමට හේතුව ලෙස සැලකෙන්නේ ස්ථිරසාර නොසෙල්වෙන අකම්ප්‍ය වූ ආනිශංස ලබාදෙන බැවින් යැයි දේශනාවන්හි සඳහන් වේ. කඨින දායකයෝ චුල්ලසෝතාපන්නයන් ලෙස සලකති. සෝවාන් නොවූවත්, සෝවාන් වූවකු ලෙස සලකා මෙම නම භාවිතා කළ බව පෙනේ. ඔහු කළ්‍යාණ පෘථග්ජනයකු ලෙස සලකා තිබේ. ඔහුගේ ගතිය, උපදින තැන ස්ථිර ය. කාම සුගති ප්‍රතිසන්ධියක් බව ස්ථිර වශයෙන් දක්වා ඇත.

වසරකට එක් තැනකදී එක් වරක් පමණක් පිදිය හැකි පූජාවක් ලෙස කඨින පූජාව පිළිබඳ සඳහන් වේ. එසේ පූජා කිරීමටත් උපසම්පදා භික්‍ෂුවක් ඇසළ පෝය දිනට පසු දිනයේ පෙර වස් සමාදන්ව වස් කඩා නොගෙන වස් තුන් මාසය ගතකොට වප් පුර පසළොස්වක දිනයෙහි පවාරණ නම් විනය කර්මය සිදු කරගෙන කඨින චීවරයක් ලැබීමට සුදුසුකම් සපුරා තිබිය යුතු ය. එවැනි ස්ථානයකදී වූව ද වසරකට එක් වරක්, කර ගත හැකි මෙම පින්කම වූවත් කරගන්නට ලැබෙන්නේ මාසයක් ඇතුළත දිනකදී (වප් පුර පසළොස්වක දිනට පසු දින සිට ඉල් පුර පෝය දක්වා) පමණක් ය. වර්ෂයේ සෑම කාලයකම, සෑම දිනකම, සෑම තැනකදීම ම කර ගැනීමට හැකි පින්කමක් නොවේ. එම නිසාද කඨින දානය දුර්ලභ පින්කමකි.

කඨින චීවරයක් පරිවාර පරිස්කාර සමග පූජා කිරීමේදී, දුගතිගාමී වන්නේ නැහැ, ඒ ඒ ප්‍රදේශයන්හි ජීවත්වන විට මිනිසුන්ට ප්‍රධානියෙක් වනවා, දිව්‍ය හා මනුෂ්‍ය ලෝකවල පමණක් ඉපදෙනවා, සක්විති රජ සම්පත් ලැබෙනවා. සෑම ආත්මයකදීම සියලුම සැප සම්පත් ලැබෙනවා. ඉතා ධනවත් වනවා. ලක්ෂයක් මහා සංඝරත්නයට, දිනපතා සිය දිනක් සෑම භික්ෂූන් වහන්සේලාටම සිවුරු පූජා කළත් ඊට වඩා එක කඨිනයක් පූජා කිරීම මහත්ඵල පින් ලැබෙන බව පතපොතේ සඳහන් වනවා. දේපල ජලයෙන් ගින්නෙන් විනාශ වන්නේ නැහැ. හැම දෙනාගේම සිත් දිනා ගන්න පුළුවන් වනවා. සැම දෙනාගේ ම ගෞරවයට පාත්‍ර වනවා. කෙලෙස් නැසීමේ ප්‍රඥාව ලැබෙනවා, ධෛර්යවන්ත අයෙකු වනවා, මෛත්‍රී සහගත සිතිවිලි ඇති අයකු වනවා. ඉවසිලිවන්ත, උත්සාහ වන්තයකු වනවා. කීකරු යහපත් සේවක සේවිකාවන් ලැබෙනවා. අධික රාගයෙන් තොර අයෙකු වනවා, රූප සම්පත්තිය ඇතිවනවා, නීරෝගි වනවා, නිසි ආරක්ෂාව ඇති අයෙකු වනවා. වස විස ආදියෙන් හිංසා නොවීම, සත්‍ය වචන ඇති අයකුවීම, සම පැහැපත් වීම, සෑම ආත්මයකම යහපත් දරුවන් ලැබීම තමන්ගෙන් අන් අයට කරදරයක් නොවීම කිසිඳු ආත්මයකදී දෙපාවල රෝගාබාධ ඇති නොවීම, වැදගත් මව්පියන් ලැබීම, වටිනා ඇඳුම් පැළඳුම් ලැබීම, කීර්තිය ලැබීම, ප්‍රඥාව ලැබීම, ක්ෂණිකව යමක් අවබෝධ කර ගැනීමට හැකි වීම, නිවන් අවබෝධ කර ගැනීමට හැකි වීම, නිසි ආයුෂ ලැබීම වැනි කියා නිම කළ නොහැකි ආනිසංස ලැබෙන බව සඳහන් වනවා. කඨින චීවරයක් පූජා කිරීමට හැකි වන්නේ යම් බුදුවරයෙකුගේ ශාසනයක් තුළ පමණයි. වසරකට එක වරක් පමණයි මෙය පූජා කළ හැක්කේ. එයද කළ හැකි වන්නේ මනුෂ්‍යයන්ට පමණයි. දිව‍යලෝකවල සිටින අයට හෝ මෙම පින්කම කළ නොහැකියි. මිනිස් ලෝකයේද මෙම පින්කම සෑම තැනකදිම කළ නොහැකියි. බෞද්ධ භික්ෂූන් වහන්සේ නැතිනම් මේ කඨින චීවර පුජාව සිදු කරන්නටද බැරිය. කඨින පූජාව සමඟ අනෙකුත් පූජා භාණ්ඩ පූජා කිරීම මහා බලසම්පන්න කුසල් ලැබෙන පින් කමක්.

මහ පොළොව කම්පා වුවද කඨිනයක් පූජා කිරීමෙන් ලැබෙන පින කම්පා වන්නේ නැහැ. මහා මේරු පර්වතය මෙන් සුළඟින් සෙලවීමටද නොහැකියි. දියමන්ති කන්දක් මෙන් බිඳින්නටද නොහැකියි. කඨිනයෙන් ලබන පිනද බිඳින්නට නොහැකි තරමට ස්ථාවරයි. ශක්තිමත්. බලසම්පන්නයි.කඨිනය නමින් හඳුන්වන්නේ ඒ නිසයි.

කඨින දානය පිළිබඳ ඉතා ප්‍රකට ආනිසංස විස්තරය ඇතුළත් වන්නේ නාගිත ථෙරාපදානයේ ය. එහි සඳහන් වන්නේ කඨිනයේ උසස් බව දැක්වීම සඳහා බුදුරජාණන් වහන්සේ විසින් එහි භික්‍ෂු උපසම්පදාවෙන් පැවිද්ද ලැබූ සිවු පිළිසිඹියාවෙන් රහත් වූ පන්සියයක් රහතන් වහන්සේ පිරිවරා අනෝතත්ත විල් තෙරට වැඩමවා විශේෂ පින්කමක් සිදු කළ භික්‍ෂු නමක් සිටිනම් ඉදිරිපත් වන ලෙස දැක්වූ අවස්ථාවේදී නාහිත මහා රහතන් වහන්සේ ඉදිරිපත්ව තමන් කළ කඨින දානයේ ආනිසංස ප්‍රකාශ කළ ආකාරයයි.

නාගිත රහතන් වහන්සේ තමන් විපස්සී බුදුරජාණන් වහන්සේගේ සමයෙහි බන්දුමතී නම් නුවර උසස් ප්‍රභූවරයකු ලෙස උපත ලබා විවිධ පින්කම් සිදුකරමින් සිටින අතර, බුදුපාමොක් මහ සඟනට ආරාධනා කොට වස් වසවා වස් තුන් මාසයෙහි උපස්ථාන කර කඨිනයක් පූජාකොට තමන්ට මෙම කඨින දානමය පින්කම ආශ්‍රවක්‍ෂය ඤාණය පිණිස හේතුවේවා යැයි ප්‍රාර්ථනා කළ බවප්‍රකාශ කළහ. නිවන ප්‍රාර්ථනා කරමින් කරගත් එම පින්කම නිසා, එදා පටන් කිසි අවස්ථාවක දුගතියක නූපන් බවත්, මනුෂ්‍ය හා දිව්‍ය ආත්මවලම පමණක් උන් වහන්සේ උපත ලද බවත් එහි දි සදහන් විය. මෙම කරුණු විස්තර වශයෙන් එහි සඳහන් කර ඇත.

යාවතා සබ්බ පරික්ඛාරේ
සංඝස්ස සතතං දදෙ
එකස්ස කඨින දානස්ස
කලංනාග්ඝති සොළසිං
ගිරිරාජ සමං රාසිං
සංඝෙදෙති තිචීචරං
එකස්ස කඨින දානස්ස
කලංනාග්ඝති සොළසිං
(30 – 31 නාගිතාපදානය)

භික්‍ෂු සංඝයාට නිතර පූජා කරන සියලු පරිෂ්කාරයන්ට වඩා එක් කඨින දානයකින් ලැබෙන ආනිසංස ඉතා විශාල බවත්, මහාමේරු පර්වතය තෙක් උසට තුන් සිවුරු ගොඩගසා සංඝයාට පූජා කළත් ඊට වඩා ආනිශංසයක් කඨින පූජාවෙන් ලැබෙන බවත් මෙම ගාථාවලින් දේශනා කර ඇත.


ගත්තෙ මෙතනින්  Ape daham pasala+siyahanda

3 comments:

  1. ගොඩක් වටිනවා. මේ ධර්ම දානයට ගොඩාක් පින්. තෙරුවන් සරණයි !

    ReplyDelete
  2. ගොඩාක් පින්..නිවන් අවබෝධයට කුසල් ආනිසංසයක් වේවා!‍‍..

    ReplyDelete