දන් දීමෙන් මොලොව දී ලැබෙන විපාක සතරක්.
පාලි ගාථා :
දදං පියෝ හෝති භජන්ති නං;
බහූ කිත්තිඤ් ච පප්පෝති යසෝභිවඩ්ඪති,
අමඞකුභූතෝ පරිසං විගාහති;
විසාරදෝ හෝති නරෝ අමච්ඡරී. - 14 ගාථාව
තස්මා හි දානානි දදන්ති පණ්ඩිතා;
විනෙය්‍ය මච්ජේරමලං සුඛේසිනෝ,
තේ දීඝරත්තං තිදිවේ පතිට්ඨිතා;
දේවානං සහව්‍යතං ගතා රමන්ති. - 15 ගාථාව
විවරණ :
" නොමසුරු මිනිසා දන් දීමෙන් අන්‍යයන්ට ප්‍රිය පුද්ගලයෙක් වෙයි. බොහෝ දෙනා ඔහු ඇසුරු කරති. කීර්තියට පැමිණෙයි. යසස ද වැඩෙයි. තේජාන්විත ව පිරිස අතරට පැමිණෙයි. විශාරදයෙක් වෙයි. "
" එබැවින් සැප කැමති පණ්ඩිතයෝ මසුරුමල දුරු කර දන් දෙති. ඔවුහු දිගු කාලයක් දෙව්ලොවේ සිටින්නෝ දෙවියන් හා එක් ව වාසය කරන්නෝ රමණය කරති. " යනු ඉහත ගාථා දෙකේ අරුත යි.
භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර කූටාගාර ශාලාවෙහි වැඩවෙසෙන දිනයක සිංහසේනාපති නම් උපාසක තෙමේ උන්වහන්සේ හමුවට පැමිණ, " දන් දීමෙන් මෙලොව දී ම ලැබෙන ප්‍රතිවිපාක තිබේ දැ? " යි විමසා සිටියේ ය. භාග්‍යවතුන් වහන්සේ එයට පිළිතුරු වශයෙන් මෙසේ දේශනා කළහ.
දන් දීමෙන් මෙලොවේ දී ම විපාක සතරක් දායකයා ලබයි. දැඩි සේ මසුරු වූ ධනවතාට සමාජයේ කිසිවෙක් කැමති නො වෙති; අප්‍රිය කරති; නින්දා කරති. එහෙත් ත්‍යාගවන්ත මිනිසා පිළිබඳ ඔහු ඇති තැනක් නැති තැනත් ප්‍රසාදයෙන් කතා කරති. ඔහුට ප්‍රිය කරති. දන් දීමෙන් මෙලොව දී ලබන පළමුවන විපාකය මෙය යි.
දානපතියා වෙත ශාන්ත සත්පුරුෂයෝ එක්රොක් වෙති.අසත්පුරුෂයන් හා එක්වීමෙන් තමාගේ ජීවිතයට මෙලොව හා පරලොව යන දෙපාර්ශවයෙන් ම අනර්ථය සිදු වෙයි. සත්පුරුෂයන් ආශ්‍රය කිරීමට ලැබීම නිසා මෙලොව දිවිය අස්වැසිලිදායක වෙයි. දන් දීමෙන් මෙලොවේ දී ලැබෙන දෙවන විපාකය මෙය යි.
සමාජයේ පරිත්‍යාගශීලී පුද්ගලයා පිළිබඳ බොහෝ දෙනා පැහැදීමෙන් කතා කරයි. ඔහු අබියස දී මෙන් ම නැති තැන දී ද ඇති ගුණ ඇති සැටියෙන් පවසති. මෙසේ දන්පතියා ගැන සමාජයේ යහපත් කීර්තිරාවයක් පැතිරීම තෙවන ආනිශංසයයි. ධනයෙන්, බලයෙන්, කුලයෙන්, තානාන්තරවලින් මේ ආදි කරුණු වලින් උසස් ලෙස විරාජමාන වන මිනිසුන් අතරට දන්පතියා විශාරදව තේජාන්විත ව එළඹෙයි. එසේ එළඹීමට අවශ්‍ය මානසික ශක්තිය ඔහුට හිමි වන අතර උසස් සමාජයත් ඔහු ගෞරවාන්විත ව පිළිගනිති. මේ, දැන් දීමෙන් මෙලොවේ දී දන්පතියාට හිමි වන හතර වන ආනිශංසය යි. සන්දිට්ඨික වශයෙන් මෙම ආනිශංස හතර දන්පතියාට ලැබෙයි.
කර්මානුරූප ව ආයුෂ ගෙවී මිය ගිය පසු එම මිනිසා, සුගතභූමි වශයෙන් ගැනෙන බොහෝ සේ සැප පිරුණු දුක්කරදර අඩු දෙව්ලොවේ උපදියි. මෙම පස්වන දානානිසංසය සාම්පරායික වශයෙන් ( පරලොව ගිය පසු ) දායකයාට ලැබෙයි.
මෙසේ දේශනා කළ පසු සීහසේනාපති බුදුරජාණන් වහන්සේට මෙසේ කීවේ ය. " භාග්‍යවතුන් වහන්ස, මුලින් පැවසූ මෙලොවේ දී ලැබෙන දානමය පුණ්‍ය විපාක සතර ගැන මම හුදෙක් ශ්‍රද්ධාවෙන් පමණක් නො පිළිගනිමි. මාගේ ජීවිතයේ අත්දැකීම් වලින් ම ඒ කරුණු සතර ගැන විශ්වාස කරමි. එය ප්‍රත්‍යක්ෂයෙන් ම දනිමි. මම දන්පතියෙක් වෙමි. එබැවින් මම බොහෝ දෙනාට ප්‍රියමනාප පුද්ගලයෙක්මි. සත්පුරුෂයෝ මා ඇසුරු කරති. මාගේ කීර්තිරාවය ද ඉතා උස් ව පැතිරෙයි. යම් යම් ප්‍රභූ පිරිස් අතරට මම යන්නෙම් ද ඒ ඒ ස්ථානවලට විශාරදව තේජාන්විත ව එළඹෙමි. මේ අයුරින් භාග්‍යවතුන් වහන්සේ වදාළ දහම් කරුණු සතර පිළිබඳ මම ප්‍රත්‍යක්ෂයෙන් ම දනිමි. එහෙත් ' දානයෙහි ඇලුණු දන්පතියා මරණින් මතු සුගතියට පැමිණෙයි ' යන්න මම ප්‍රත්‍යක්ෂයෙන් නො දනිමි. එය පමණක් ශ්‍රද්ධාවෙන් අදහමි "යි බුදුරජාණන් වහන්සේගේ දේශනාවට සීහසේනාපති බොහෝ සේ සතුටු විය.
පුද්ගලික දානානිසංස
1.තිරිසන් සතකුට දන් දීමෙන් ජාති සියයක ආයුෂ වර්ණ, සැප, බල, ප්‍රඥා යන අනුසස් ලැබේ.
2. පෘථග්ජන දුශ්ශීලයකුට දන් දීමෙන් ජාති දාහක් අනුසස් ලැබේ.
3. පෘථග්ජන සිල්වතකුට දන් දීමෙන් ජාති ලක්ෂයක ආනිසංස ලැබේ.
4. කාමයන්හි පහ වූ ආසා ඇති බුදුසස්නෙන් පිටත්හි වූ තාපසයකුට දෙන දානයක් ජාති කෙළ ලක්ෂයක අනුසස් ලැබේ.
5. සෝවාන් වීමට ප්‍රතිපත්ති පුරන්නකුට දෙන දානයෙන් අසංඛ වූ අප්‍රමේය වූ අනුසස් ලැබෙයි.
6. සෝවාන් වූ පුද්ගලයකුට දෙන දානයෙහි ආනිසංස ගැන කියනු කිම?
7. සකෘදාගාමි වීමට ප්‍රතිපත්ති පුරන පුද්ගලයකුට දුන් දනෙහි ආනිසංස ගැන කියනු ම කිම?
8. සකෘදාගාමී වූ පුද්ගලයකුට දුන් දනෙහි ආනිසංස ගැන කියනු ම කිම?
9. අනාගාමී වීමට පිළිවෙත් පුරන්නකුට දුන් දනෙහි ආනිසංස ගැන කියනු ම කිම?
10. අනාගාමි වූ පුද්ගලයකුට දුන් දනෙහි ආනිසංස ගැන කියනු ම කිම?
11. රහත් වීමට පිළිවෙත් පුරන්නකුට දුන් දනෙහි ආනිසංස ගැන කියනු ම කිම?
12. රහතන් වහන්සේ නමකට දුන් දනෙහි ආනිසංස ගැන කියනු ම කිම?.
13. පසේ බුදුවරයන් වහන්සේ නමකට දුන් දනෙහි ආනිසංස ගැන කියනු ම කිම?
14. සම්යක් සම්බුදුවරයන් වහන්සේ නමකට දුන් දනෙහි ආනිසංස ගැන කියනු කිම? (ක්‍රමයෙන් පින් වැඩිවේ)
උපුටා ගැනීම
දානයේ ආනිශංස
පිටපොල ධම්මිස්සර හිමි
No comments:
Post a Comment