බෞද්ධ සාහිත්‍යාගත තොරතුරු ඇසුරෙන් මාරයා පිළිබඳ ව කැරෙන හැඳින්වීමකි මේ.
මාරයා කවර මොහොතක හෝ පැමිණිය හැකි බැවින් වහවහා පින් කළ යුතු බව ලෝවැඩසඟරා කතුවර මහනෙත්පාමුල මාහිමියෝ බෞද්ධයන්ට අවවාද කරති. බුද්ධ චරිතය සම්බන්ධ පුවත්වලදී ද සූත්‍රාගත ධර්ම කරුණුවලදී ද මාරයා අපට හමු වෙයි. සිදුහත් මහ බෝසතාණන් අබිනික්මන් කරද්දී මාරයා ඔහු හමුවේ පෙනී සිටිමින් මෙසේ කීවෙලු:
“මානික්කම මහාවීර
ඉතෝ තේ සත්තමේ දිනේ
දිබ්බන්තු චක්ක රතනං
අද්ධා පාතු භවිස්සති.”
“මහරජ නොනික්මෙව. මෙයින් සත් දිනකින් ඔබට සත්රුවන පහළ වේ.”
සිදුහත් කුමරු මාරයාගේ බහට කන් නොදී, ගිහිගෙය හැරදමා පැවිදි විය. මහ බෝසතුන්ගේ සුළු හෝ වරදක් සොයමින් මාරයා ඔහු පසුපස නිබඳ ලුහුබැන්ද බව බුදු සිරිතෙහි දැක්වේ. උන් වහන්සේගේ දුෂ්කර ක්‍රියා සමයෙහි ද බුදු වීම සඳහා විදුරසුන් අරා සිටි වේලාවෙහි ද මාරයා පැමිණි බව සඳහන් වේ. බුද්ධත්වයට පත් වීම වළකාලීමට දසබිම්බරක් මර සෙනඟ පිරිවරා පැමිණි මාරයා නොයෙක් බිහිසුණු වෙස් ගෙන බෝසතුන් බිය ගන්වා පලවාහැරීමට උත්සාහ දැරී ය.
බුදුරදුන්ට ‘මාරජී’ යැ යි විරුදයක් වේ. ‘මාරයා ජය ගත් උතුමා’ යනු එහි අදහස යි. මාරපරාජය පිළිබඳ අවස්ථාව අපේ සිත්තරු චමත්කාර ලෙස සිතුවමට නැගීමට සමත් වූ හ. බෞද්ධ සාහිත්‍යයෙහි මෙන් ම ජන සාහිත්‍යයෙහි ද ජන සංස්කෘතියෙහි ද වෙසෙසි තැනක් හිමි කරගෙන සිටින මේ මාරයා කවුරු ද? යනු සොයා බැලීම වැදගති.
මාරයා වූකලි වසවර්ති දෙව්ලොව එක්තරා දාමරික දිව්‍යපුත්‍රයකු බව සුත්තනිපාත අටුවාවේ දැක්වේ. බුද්ධඝෝෂයන්ගේ පද්‍යචූඩාමාණික්‍ය කාව්‍යයෙහි දිව්‍ය පුත්‍ර මාර සඳහා ‘අනංග‘ යන්න යොදා ඇත. මාරයෝ තිදෙනකු ගැන දික්සඟි අටුවාවේ සඳහන් වේ. දේවපුත්ත මාර, මච්චු මාර, කිලේස මාර වශයෙන් මේ තිදෙනා හඳුනාගෙන ඇත. සුත්ත නිද්දෙස අටුවාවෙහි මාරයෝ සිව් දෙනකු ද ථෙරගාථා අටුවාවේ මාරයෝ පස් දෙනකු ද දක්වා තිබේ.
පස්මරුන් දිනූ හෙයින් බුදුන්ට ‘ජින’ යන නාමය ව්‍යවහාර කරන බව ඇතැම් අර්ථකථනයන්හි එයි. ස්කන්ධමාර, ක්ලේශමාර, අභිංසංස්කාර මාර, මෘත්‍යුමාර සහ දේවපුත්ත මාර යනුවෙන් මේ පස් දෙනා නම් කරනු ලැබ ඇත.
ස්කන්ධ මාර යනු රූප වේදනාදි ස්කන්ධ පස යි. ක්ලේශ මාර නම් කාමාදි ක්ලේශයෝ ය. අභිසංස්කාර මාර නම් භවගාමි කුශලාකුශල කර්ම යි. මෘත්‍යුමාර නම් මරණය යි. දේවපුත්ත මාර නම් වසවර්ති දෙව්ලොව වැසි දෙවියෙකි. ඔහු සෙසු දෙව් පිරිස සිය වසඟයෙහි තබාගෙන සිටී. මාරයාගේ පැමිණීමෙන් අනෙක් දෙවිවරු තැති ගන්නා බව සඳහන් වේ. පධාන සූත්‍රයෙහි දැක්වෙන අන්දමට මාරයා යනු කෙලෙස් ය. කාමය, භාවනාවෙහි සිත නෑලීම, සාසිපාසාව, තෘෂ්ණාව, සිතේ කයේ අලස බව, බියසුලු බව, විචිකිච්ඡාව හෙවත් සැකය, ගුණමකු බව සහ උඩඟු බව යන කරුණු දසය දසමාර සේනාව වශයෙන් මෙහි දක්වා ඇත.
මේ අනුව පැහැදිලි වන්නේ මාර යනු පුද්ගලයකු නොව, තම මනසෙහි ඇති වන ධර්මතා බව යි. අටුවාකරුවා මෙකී චෛතසික ස්වභාවයන්ට පුද්ගලත්වාරෝපණය කර ඇති බව පෙනේ. වියතුන් මේ ගැන විවිධ මත පළ කරද්දී සාමාන්‍ය ජන විශ්වාසය වී ඇත්තේ මාර යනු කිසියම් බලගතු දෙවියකු බවත් ඔහු පුද්ගලයන්ගේ මරණය සම්බන්ධ ව බලපෑමක් ඇති කරන්නකු බවත් ය.
සමාජයේ හොඳ වැඩට අකුල් හෙළන්නකු වශයෙන් ද මොහු ජනතාවගේ සිත්හි සටහන් වී ඇත. පුද්ගලයන් තුළ කාමාදි සිතිවිලි ඇති කර, ඔවුන් නොදැහැමි මගට පොලඹවන්නකු ලෙස ද පිළිගැනේ. “මාරයා ආවේශ වුණා, මට මාරයා නැග්ගා, මාරයෙක් වගේ මගේ ඉස්සරහට පැන්නා” වැනි වාගාලාපවලින් කියැවෙන්නේ ද නරක හෝ බිහිසුණු සිතිවිලි හෝ නරක ක්‍රියා ගැන යි. මාරයා විවිධ වේශ මවාගෙන තමන් අකැමැති පුද්ගලයන් වෙත එළැඹ ඔවුන් බියපත් කරන අයකු ලෙස ද අනුනට ආවේශ වී නොයෙක් හිරිහැර බාධා පමුණුවන අයකු ලෙස ද පෙන්වන ආකාරයේ කථා පුවත් අටුවා ඇදුරන් විසින් දක්වා ඇත.
බුදුරදුන් රජගහනුවර වේළුවනයේ වැඩ සිටියදී එක් රැයක මාරයා භයානක නාගවේශයක් මවාගෙන උන් වහන්සේගේ ඉදිරියට පැමිණියේ ය. එසේ ම වරක් බුදුන් වහන්සේ ගිජුකුළු පව්වේ අඳුරේ වැඩ සිටියදී විශාල ගල් පෙරළමින් භය කිරීමට උත්සාහ දරා ඇත. මගධ රට පංචශාලා නම් බමුණුගමේදී බුදුරදුන්ට පිණ්ඩපාතය නොලැබෙන සේ සලසන ලද්දේ මාරයා ඔවුනට ආවේශ වීමෙනි. බුදුරදුන් වේරංජාවට වැඩි වේලේ වස්විසීම සඳහා උන් වහන්සේට ආරාධනා කළ බමුණාට ඒ ගැන සම්පූර්ණයෙන් අමතක වූයේ මාරාවේශය නිසා යැ යි විනය අටුවාවේ දැක්වේ.
මැදුම් සඟියේ මාරතජ්ජනීය සූත්‍රයෙහි මාරයාගේ පූර්ව ඉතිහාසය කියා තිබේ. එහි එන තොරතුරු අනුව මුගලන් මහතෙරුන් සුංසුමාර නගරාසන්නයේ පිහිටි භේසකලා වනයෙහි වසන සමයෙහි දිනක් මාරයා උන් වහන්සේගේ ආමාශයට ඇතුළු විය. කුස තුළ බරක් දැනුණෙන් සක්මන නවතා ආවාස ගෙට පැමිණි මුගලන් හිමියෝ දැනුණ අපහසු ගතිය විමසා බැලූ හ. කුසට මාරයා පිවිස ඇති බැව් දුටු තෙරුන් වහන්සේ මාරයා අමතා කුස තුළින් බැහැර ව නික්මෙන ලෙස දැන්වූ හ. මාරයා පිටතට පැමිණ කවුළු පඩිය උඩ සිටියේ ය. මාරයාගේ පෙර තොරතුරු දක්වන මුගලන් තෙරහු පෙර තමන් දුසී නමැති මාරයකු වූ සැටිත් කාලි නමින් සොහොයුරියක සිටි හැටිත් වත්මන් මාරයා එම කාලියගේ පුතු බවත් අනාවරණය කළහ; තවදුරටත් මෙම කරුණ විස්තර කරමින් කකුසඳ බුදුන් සමයෙහි දුසී මාරයා බ්‍රාහ්මණ ගෘහපතීන්ට ආවේශ වී භික්ෂූන්ට බැණවැදීම් කරවූ සැටිත් එක් ළමයකුට ආවේශ වී බුදුන් පසුපස යන අගසවු මහතෙර නමකට ගලකින් ගස්වා හිස තුවාල කරවූ සැටි ද දැක්වූ හ.
මාරයා හැම විට බුදුරදුන්ගේ ප්‍රතිපාක්ෂිකයෙකි. සිදුහත් තවුසාණන් බුද්ධත්වය ලබාගත් නොබෝ දිනකදී උන් වහන්සේට පිරිනිවන් පෑමට ආරාධනා කළ මාරයා පසු ව ද ඒ සඳහා ආරාධනා කළේ ය. බුදුන් ආයු සංස්කාරය කළේ එම ආරාධනයට අනුව යැ යි මහාපරිනිබ්බාණ සූත්‍රයේ දැක්වෙයි. එහෙත් උදාන අටුවාවේ බුදුන් පිරිනිවන් පෑවේ මාරයාගේ ආයාචනය නිසා නොවන බව කියා ඇත. මාරයා ගැන ඉදිරිපත් වී ඇති සියලු තොරතුරු එක් කර බලන විට පෙනී යන්නේ මාරයා යනු සියලු අනර්ථකාරී විෂමාචාරවල ප්‍රතිමූර්තියක් බවයි.
‘පාපිමාර’ යනු ද මාරයාට කියන තවත් නමකි. පව් ඇත්තා යනු එහි තේරුම යි. අවැඩකර බලවේග හැඟවෙන මෙම වචනවලින් විශ්වය තුළ ක්‍රියාත්මක වන නොහොඳ දේ හොඳ දේ ඉක්මවා ඉදිරියට එන අයුරු නිරූපිත ය. සාමාන්‍ය බෞද්ධ සමාජයක මාරයා යනු අදෘශ්‍යමාන, එහෙත් මිනිස් ලොව වසන්නන් කෙරෙහි හිරිහැර බාධක පමණක් නො ව මරණය ද ගෙන එන දෙවියෙකි. බෞද්ධයෝ දෙවියන්ට මෙන් ම මාරයාට ද පින්-පෙත් පමුණුවති. භික්ෂූන්ගේ වන්දනා-මානනයෙන් පසු ව හෝ පිරිත් දෙසුම් අවසානයේ හෝ සෙසු දෙවියන්ට පින් දෙන අතර මාරයා ගැන ද සඳහන් කරනු දැකිය හැකි ය:
“බ්‍රහ්මා මාරාච ඉන්දාච ලොකපාලාච දේවතා යමෝ මිත්තාමනුස්සාච...”
මෙහි බ්‍රහ්ම, මාර, ඉන්ද්‍ර, ලෝකපාලක දෙවිවරු, යම, මිත්ත වැන්නන් එක ගණයකට ඇතුළත් කරනු ලැබ තිබේ.
ගැමි ජන විශ්වාසයන්හි ද මාරයා උදෙසා පින්දීම දක්නට ලැබේ.
“ආරවාරම් ඇති මාර උන්නාන්සේ
මේ පින් අරගන් මාර උන්නාන්සේ”
වැනි කියුම්වලින් එය පැහැදිලි වේ. මේවා පසුකාලයේ එක් වී ඇති බව ද කිව යුතු ය.
මාර යන්න වේදයෙහි දැක්වෙන මෘත්‍යු යන්නට අනුරූප වන බවක් පළ කරන වියතෙක් මාරයාගේ සම්පූර්ණ ලක්ෂණය වර්ධනය වූයේ බෞද්ධයන් අතර බව සඳහන් කරයි. (එලියට්, හින්දුඉසම් ඇන්ඩ් බුඩිසම්, වෙළුම, 1, 337 පිට).
මාරයා හැඳින්වීම සඳහා පාළි සාහිත්‍යයේ නම් රැසක් භාවිත වෙයි. අන්තක, වසවත්ති, පාපිමා, පජාපති, පමත්ත බන්ධු, කණ්හ, නමුවී හා මාර යන නම් පාලි නිඝණ්ඩුවේ දැක්වේ. මච්චු, මච්චුරාජ හා කාල යන පර්යාය නාම ද මොහු සඳහා යෙදී ඇත. කාල සහ කණ්හ යනු සමාන අර්ථ ඇති පද දෙකකි. කළුපාට ඉන් කියැවේ. පාපය එයින් හඟවනු ඇත. අන්තක යනනෙන් කියැවෙන්නේ අන්තය හෙවත් කෙළවර කරන්නා යනු ය. මච්චු යනු මරණය යි. මරණයේ රජු යනු මච්චුරාජ යන්නේ අදහස යි. පජාපතී යන්නෙන් කියැවෙන්නේ ජනතාවගේ නායකයා යන්න යි. මහසෙන් යන්නේ අර්ථය නම් මහත් සේනාවක් ඇත්තා යනු යි. මාරගේ දසබිම්බර සෙනඟ ගැන බෞද්ධ සාහිත්‍යයේ ප්‍රසිද්ධ ය.
මාරයා වරක් අසූවක් අනුව්‍යංජනයෙන් උපලක්ෂිත බුද්ධ රූපයක් මවා පෑ අයුරු දැක්වෙන කතා පුවතක් ඇත. මාරයා ජීවමාන බුදුරදුන් සියැසින් දුටුවෙකැ යි ද කියැවේ. කාල නමැති අයකු විසින් ධර්මාශෝක රජුට ද මෙවන් බුදුරුවක් මවා පෑ බව දැක්වෙන කතාවක් සමන්තපාසාදිකාවේ දැක්වෙයි.
තණ්හා, රතී, රඟා යනු මාරයාගේ දූවරුන් තිදෙනා බවත් ගිරිමේඛලා යනු ඔහුගේ ඇතා බවත් දැක්වේ. බුදු වීම සඳහා සිදුහත් තවුසා වජ්‍රාසනාරූඪ වූ අවස්ථාවේ තුති ගැයුම් කරමින් පැමිණ සිටි ශක්‍රයා ඇතුළු දෙවිවරුන් ද බ්‍රහ්මාදීන් ද මාරයා පැමිණි විට බිය වී පැනගිය ආකාරය ජාතකට්ඨකතාවේ විස්තර කර ඇත. පිරිස සමග මාරයා තනි විය. ගිරිමේඛලා නමැති ඇතු පිට හුන් ඔහු ද බුදුරදුන් අතින් පරාජයට පත් ව පැන ගිය බව එහි දැක්වේ. හොඳ සහ නරක අතර ගැටීම මෙයින් රූපකාර්ථවත් කර ඇති බව පෙනේ. සාමාන්‍ය බෞද්ධයෝ මාර යුද්ධය සැබෑ වශයෙන් සිදු වූ සටනක් ලෙස විශ්වාස කරති.
මහාචාර්ය පූජ්‍ය ගතාරේ ධම්මපාල හිමි
බණ පොතේ කියවෙන මාරයා ගැන ආනන්ද මෛත්‍රී හිමියන් කියූ විශ්මිත කතාව
දේවප්‍රිය මහතා මට ගමන් වියදම් එව්වේ ජූනි මාසයේදියි. ඊට පසුව මා ලංකාව බලා පිටත්වෙලා ආවා. මා කෙළින්ම බළංගොඩ පිරිවෙනට ගියා. පිරිවෙනේ ඉගැන්වීමේ කටයුතු උප ප්‍රධාන ගැටඅරළුවේ ධම්මරතන ස්ථවිරයන්ට සහ අනෙකයට පවරලා මුළු කාලයම භාවනාවේ යෙදීමට හිතා ගත්තා, පිරිවෙන් වත්තේ පහළ කොටසේ බිමට සිමෙන්ති දමා සකස් කළ හොඳ කුටියක් තියෙනවා. එය හොඳට අතුපතුගාලා ශුද්ධ කොට වටේත් හැම තැනම පිරිසිදු කරලා, ඒකෙ ඇතුළේ ඉඳ ගැනීමට ආසනයකුත් හදාගෙන, මා ඉදිරියේ පොඩි මේසයක් සහ කුප්පි ලාම්පුවකුත් තබලා කුටිය හොඳින් පිළියෙලකර ගත්තා. එහි එළියේ කුඩා කාමරයක් තියෙනවා. මට අවශ්‍යය දෑ සපයා ගැනීමට සහායක හැටියට මගේ භාතෘවූත්, ප්‍රධාන ශිෂ්‍යවූත් වැලිගෙපොළ මෛත්‍රීමූර්ති නමට එළියේ කාමරයේ ඉන්න නියම කළා.
රාත්‍රී අටට විතර මා හදාගත් සුභ මොහොතතින් යෝගාසනයේ ඉඳගෙන යෝග භාවනාව ආරම්භ කළා. එතකොටම මට පෙනුණා, ම ඉදිරියේ මේසය උඩ පොළොන් තෙලිස්සෙකු ඉන්නවා. ඌ ටික ටික මා දිහාවටයි එන්නේ. මේක මහා භයානක එකෙක්. ළඟ තිබුණා කොස්සක්. ඒක අරගෙන ඌ තල්ලු කරලා දැම්මා, බිමට. මට කුප්පි ලාම්පුවේ එළියෙන් පෙණුනා, සිමෙන්ති බිමේ ඌ එහාට මෙහාට කර කැවි කැවී ඉන්නවා. සිමෙන්ති පොළොවේ ඔප වැඩිකම නිසා ඌට එහාට මෙහාට යන්න අමාරුයි. මා හයියෙන් කතා කරලා මෛත්‍රීමූර්තිට කිව්වා, ඔය වහල තියෙන දොර අරින්න කියලා. ඒක යතුර දාලා නොවෙයි නිකන් වහලා තිබුණේ. දොර ඇතුළට තල්ලු කරන්න කියා මා කිව්වා, ඉතින් ඒ නම දොර තල්ලු කරලා ඇරියා. ඒ එක්කම මා කිව්වා, කාමරයට වෙලා දොර වහගන්න මෙතන සර්පයෙක් ඉන්නවා කියලා.
එතන තිබුණා පොඩි බංකුවක්. ඒක උඩට මා නැගලා අර මුස්න අරගෙන වේගයෙන් ඌ විසි කරන්න මුස්න ගැහුවා. එතකොටම අර කුප්පි ලාම්පුව පෙරලුණා. බංකුවත් පෙරලුණා. මාත් කලුවරේම බිම වැටුණා. සර්පයා මගේ කකුලේ ඇඟිලි දෙකක් දෂ්ට කළා. මා අමාරුවෙන් නැගිටලා වැර උපදවාගෙන සර්පයාට උඩින් එළියට පැන්නා. පැනලා දොර වැහුවා. මේ සියල්ලම කළේ කළුවරේ. කැක්කුම ඉවසන්න බැරි තරමට වැඩි වුණා. මෛත්‍රීමූර්තිට කතා කරලා කිව්වා, සර්පයෙකු මා දෂ්ට කළා, උඩහට ගිහින් අනෙක් ඇත්තන්ට කියලා, ඉක්මනින් පුටුවක් අරන් එන්න කියලා. කළුවරේම ඒ නම ගිහිල්ලා, අනෙක් අයත් එක්ක පුටුවක් අරගෙන ඇවිත් මා උඩහට අරන් ගියා. මේ වෙලාව රාත්‍රී නවයට විතර ඇති.
වහාම සර්ප වෙදකු ගෙන්වා ගන්න සෙව්වා, තුඹගොඩ මහ පන්සලේ හිටිය සුමනජූති නායක හාමුදුරුවන්ට පනිවිඩයක් යැව්වා. උන්වහන්සේ දක්ෂ සර්ප වෛද්‍යවරයෙකු සමග වහාම ආවා. සර්ප වෙදා ඇවිත් පරීක්ෂා කර බැලුවා. මේ පොළොන් තෙලිස්සකු කියලා කටින් විෂ උරලා ඊට පස්සේ බෙහෙත් බැන්දා. ඉතින් භාවනාව යකාට ගියා.
තුන් මාසයක්ම ඇඳේ ඔත්පලවෙලා හිටියා. මේ රිදීම තුන් මාසයක්ම ටික ටික තිබුණා. තුවාලේ සනීප වෙන්නෙත් නැහැ. තුන් මාසෙකට පස්සෙයි වෙන සර්ප වෛද්‍යවරයකු වෙනත් බෙහෙතක් කකුලේ බැඳලා සම්පූර්ණයෙන්ම තුවාලය සනීප වුණේ. මෙතනදී මට හැඟීමක් ආවා, කෙනෙකු භාවනාවක් කරනකොට ඒක සාර්ථක වෙයි කියලා, වසවර්ති මාර දිව්‍යපුත්‍රයාට හෝ ඔහුගේ පක්ෂයේ භූතයෙකුට සැකයක් හිතුණොත් ඔහු ඒකට බාධා ඇති කරපු තැන් අපේ පොත් වල තියෙනවා. කලකට පෙරදී භාවනාව සමෘද්ධ වේගෙන එන අවස්ථාවේදී පින්කම් පොළකට මට යන්න සලස්සලා මගේ භාවනාව කඩාකප්පල්වීමට සැලැස්සුවා. නැවත මේ අවස්ථාවේදි ඒකටම ජීවිතය කැප කරලා භාවනා කරන්න ලෑස්ති වුණාම මේ සර්පයෙකු ගෙනත් දාලා ඒකට බාධා කළා. ඒ මා භාවනා කරන්න ගිය කුටිය වෙනත් භික්ෂූන් වහන්සේලා පදිංචිවෙලා හිටිය හොඳ පිරිසිදු එකක්. ඒකට මේ සර්පයා කොහොම ආවද? මේවා ඔක්කොම මගේ භාවනාවට බාධා කිරීම්. ඉතින් මාරයාගේ, මාර පාක්ෂිකයන්ගේ, නැත්නම් මිසදෙටු භූතයන්ගේ වැඩ කියලයි මට හිතුණේ.
අපේ අලුත් පණ්ඩිතයන්, විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූ ඇතැම් උගත් අය, යුරෝපීය උගතුන්ගේ කියුම්වලට වහල් වූ උගතුන්, මාර දිව්‍ය පුත්‍රයා කියල කෙනෙකු ඇතැයි යන්න ප්‍රතික්ෂේප කළත්, ක්ලේශයන්ම, රූපක වශයෙන් යෙදීමක් කියලා ඔවුන් තේරුවත්, පැරණි බණපොතේ කථාව සත්‍ය වශයෙන් මා පිළිගන්නවා. මා දේවපුත්‍ර මාරයා නැමැත්තකු ඉන්න බව එදත් පිළිගත්තා, අදත් පිළිගන්නවා. ඉන්දියාවේ බුද්ධාගම විනාශ කිරීමටත්, කලින් කල මේ හෙලදිවේ බුද්ධාගම විනාශ කිරීමටත් විරුද්ධ පාර්ශවයන්ට අනුබලය දුන්නේත් අදත් බෞද්ධ පාර්ශවය දුර්වල කිරීමටත් අබෞද්ධයන් බලවත් කිරීමටත් සතුරු පාර්ශව වලට පිටුපසින් මේ මාර දිව්‍ය පුත්‍රයා සිටින බවයි මා හිතන්නේ.
සමහර කාලවල ශක්‍රාදි සම්‍යක් දෘෂ්ටික දෙවියන් මේ චන්ඩි පාටියේ දඩබ්බර මාර දිව්‍ය පුද්‍රයාගේ දඩබ්බරකම් වලට බයෙන් මගාරිනවා. ඒ නිසා ඔහුට ඉඩ ලැබෙනවා, බුද්ධාගම විනාශ කිරීමට. අර සම්‍යක් දෘෂ්ටික හික්මිච්ච දේවතාවන් අයින් ගහනවා. එදා මාර යුද්ධ අවස්ථාවේදීත් ඔවුන් බයේ පැනගිය බවට අපේ පොත් වල තියෙන කතාව ඇත්තක් වශයෙන් මා පිළිගන්නවා. ඉතින් සංයුත්සඟියේ මාර සංයුත්තය ස භික්ඛුණී සංයුත්තයේ සඳහන් මාර දිව්‍ය පුත්‍රයාගේ දඟකාරකම් සමහරුන් කෙලෙසුන් හැටියට තෝරතත් පෙළ අටුවා දෙකට අනූව මා පිළිගන්නේ මාර දිව්‍ය පුත්‍රයාගේම ක්‍රියා හැටියටයි. ඔහු හෝ ඔහුගේ පක්ෂයේ කිසිවකු මගේ වැඩවලටත් නොයෙක් විට හරස් කපා ඇති බව මා පිළිගන්නවා.
නොයෙක් විට බුදුහාමුදුරුවන් මුලා කරන්න පුළුවන් කියලා හිතාගෙන මාරයා ආපු බව පේනවා. උන්වහන්සේගේ අසමසම ඤානය මොහුට විෂය වී නැහැ. මොහු කොච්චර බල සම්පන්නයෙක් වුවත් ලේසියෙන් රවටන්න පුළුවන්. මොහු මෝඩයි ඒ නිසා තමයි බුදුහාමුදුරුවන්ගේ සිදුරු සොය සොය පස්සෙන් ඇවිද්දේ. අන්තිමට පසුබට වුණා. නමුත් මගේ පුද්ගලික අදහස නම් මාරය බුදුහාමුදුරුවන්ගෙන් පළිගන්න පුදුම විදිහට උත්සාහ කළා කියන එකයි. කෙළින්ම උන්වහන්සේගෙන් පළිගන්න බැරි වුණාම බුදුහාමුදුරුවන්ට අධික භක්තියෙන් උදව් උපකාර කළ අයගෙන් පළි ගත්තා.
ශාක්‍ය රජ පවුල විනාශ වන තැනට කරුණු සැලැස්සුවා. එසේ කළේ විඩූඪභ කුමාරයා ඇවිස්සීමෙන්. කොසොල් රජ්ජුරුවන්ගේ අවසාන මොහොත අනාථව මහමඟ නවාතැන් පොළක මැරෙන්නයි සිදු වුණේ. බුදුහාමුදුරුවන්ගේ මහා දායකයා තමයි අනේපිඬු සිටුතුමා. එතුමා එක් කලෙක අන්තිම දුප්පත් තත්වයට වැටුණා. බිම්බිසාර රජු ඔහුගේ පුතා ලවා අන්තිම දුක්ඛිත මරණයකට පත් කෙරෙව්වා. මේ විදිහට බුදුහාමුදුරුවන්ට හුඟක් උදව් කළ අයගෙන් මාරයා පළි ගත්තා.
ඊළඟට බුද්ධ ශාසනයේ පැවැත්මට අකුල් කෙලුවා. බුදුහාමුදුරුවන්ගෙන් පස්සේ, සංඝයා බොහොම අමාරුවෙන් ශාසනය ආරක්ෂා කරගන්න උත්සාහ කළා. නමුත් නොයෙක් භේද ඇති වුණා. ඒත් ඒවාට මුහුණ දෙමින් බොහෝ දුරට ථෙරවාදී සංඝයා කටයුතු කළත් උතුරේ ථෙරවාදය නැතිවන තැනට කටයුතු යෙදුණා. මහායානය බලවත් වුණා. මේවාට මුල් වුණේ මාරයා කියන එකයි මගේ විශ්වාසය. අන්තිමට මුසල්මාන්වරුන් ලවා බුද්ධාගම සම්පූර්ණයෙන්ම විනාශ කෙරෙව්වා. ඉස්සර ගාන්ධාරය සම්පූර්ණ බෞද්ධ රටක්. අද ඒක අබෞද්ධ රටක්. ටාටරික් ඉස්සර ජීනයට අයිති බෞද්ධ රටක්. ශිලාලේඛන හා හමුවන බෞද්ධ පොත් පත්වලින් ඒ කාරණය පැහැදිලි වෙනවා. අද එක බෞද්ධයෙක්වත් ඒ රටේ නැහැ. ජාවාරට, මාලදිවයින ආදියත් ඉස්සර බෞද්ධ රටවල්. නමුත් ඒ සියල්ලේම බුද්ධාගම නැති වෙන්න කරුණු සැලසුණා. යන්තම් ඉතිරිවුණේ ලංකාවෙ, සියමෙ, බුරුමයේ පමණයි. කාම්බෝජයේ තිබුණා. ඒත් ඒක එක දවසින් විනාශ කළා.
ඉතින් මා හිතන්නේ මේ ඔක්කෝටම මුල මාරෝපක්‍රමය කියන එකයි. ඔහු හැම තිස්සේම බුද්ධාගම විනාශ කරන්නට හැකි හැම දෙයක්ම කරනවා. මේ උපක්‍රමය තවම නැති වුණේ නැහැ. දෙවිවරු මොහුට බයයි. එයාගේ පිරිස බලවත්. ඒ නිසා ඔහු එක්ක තරඟයට යන්නේ නැහැ. ඒ නිසා එයා මර්දනය කරන්න මනුෂ්‍යයන්ම ඉදිරිපත් වෙන්න ඕනෑ. භික්ෂූන් වහන්සේලා ආගමානුකූලව, නියම ප්‍රතිපත්ති පුරමින් ස්ථිර අධිෂ්ඨානයෙන් වැඩ කරනවා නම් මාරයාට මොකවත් කරන බැහැ.
උන්වහන්සේලා ලෞකික සැප සම්පත් පැත්තට හැරුණාම මාරයාට වාසියි. ඉන්දියාවේ ඉස්සර වුණේත් ඕකයි. ඉන්දියාවේ භික්ෂූන් වහන්සේලා රජවරුන් සතුටු කිරීමට ඒ අයගේ ඇප උපස්ථානවලට වහල් වුණා. අනික් රටවලත් භික්ෂූන් වහන්සේලා හරියට ක්‍රියා කලේ නැහැ. නාලන්දා විහාරයේ භික්ෂූන්ගේ බලය තිබුණා. නමුත් ඒ එක්කම ඒ අයගේ ආඩම්බරකමත් තිබුණා, ඒ අය තමයි මුළු ඉන්දියාවේම ආචාර්‍යවරුන් කියලා. ඒකම තමයි විනාශයට හේතු වුණේ. හැම තැනකම හැම රටකම වුණේ ඔය විදිහට.
සියළුම භික්ෂූන් වහන්සේලා ප්‍රතිපත්ති ගරුකව භාවනායෝගීව සිටියේ නම් මාරයාට මොකවත් කරන්න බැහැ. ඒ පැත්ත දුර්වල වෙනකොට මාරයාට ඉඩ ලැබෙනවා. දෙවියන් විසින් කළ හැකි දෙයකුත් නැහැ. දෙවියන් වුණත් බලවත් වෙන්නේ අප පින්කරලා පින් අනුමෝදන් කළාම. අප නිකම් සිරිතක් වශයෙන් “එත්තාවතාව අම්හේහි” කියලා කියනවා. ඒත් දෙවියන්ට අනුමෝදන් වෙන්න දෙයක් නැහැ. මෙහේ කරන පින්කම් වැඩි හරිය නම්බුව කීර්තිය බලාගෙන කරන ඒවනේ. ශ්‍රද්ධාව බොහොම ටිකයි තියෙන්නේ. සල්ලි එකතු කිරීම, ආධාර එකතු කිරීම වැනි වෙනත් අරමුණු වැඩි කරියක් පින්කම් අස්සේ තියෙන්නේ. ඉතින් ඔය විදිහට කරලා එත්තාවතාච…. කිව්වාම පින් අනුමෝදන් වෙන දෙවියකු ඉන්නවයැ. ඉතින් අනුමෝදන් වෙලා බලවත් වෙන්න අප කරන පින් දෙවිවරුන්ට මදි. ඒ නිසා අපේ සම්‍යක් දෘෂ්ටික දෙවිවරු බොහොම දුර්වලයි. මාරයාගේ පැත්තේමිථ්‍යා දෘෂ්ටික දෙවිවරු බලවත්. ඒ නිසා බුද්ධ ශාසනය විනාශ කිරීමට නිතරම උත්සාහ ගන්නවා.
මෙකී කරදරවලි මිදිලා නැවත භාවනාව පටන් ගන්න හදනකොට ආරාධනාවක් අනුව වැල්ලවායේ බුදුරුවගල පිළිමය දකින්න ගිය වෙලාවේ අලුත් වැස්සෙන් පිරුණු ගල්වළක වතුර ටිකක් බිව්වා පිපාසෙට. පසුවදා බළංගොඩට ආවා. මට මැලේරියාව හැදුණා. එය ඉතාම බලවත්ව නැගුණා. අවුරුද්දක්ම මම එයින් පීඩා වින්දා. කිසිම ඉංග්‍රීසි සිංහල ප්‍රතිකාරයකින් මට පූර්ණ සනීපයක් ලැබුනෙ නැහැ. මේ කරදර නිසා මගේ චිත්ත බලයත් පිරිහුණා. අවුරුද්දක් ග්තවීමෙන් පස්සේ මා හිතුවක්කාර ප්‍රතිකාරයක් කර ගත්තා. ඉතින් එහෙම වෙනකොට සංඝයාගේ කටයුතු දායකයන්ගේ කටයුතු නිසා භාවනාව දිගට ගෙනියන්න බැරි විදියට බාධා ඇති වුණා. භාවනාව ක්‍රමානුකූලව ගෙනියන්න ඕනෑ, එතකොටයි ප්‍රතිඵල ලබන්න පුළුවන්. ඔය විදිහට නොයෙක් කරදර ආවා. අන්තිමට මා සමථය අත් හැරලා විපස්සනාව වඩන්න පටන් ගත්තා. හැකි හැම අවස්ථාවේදීම කළේ එය වැඩීමයි.
ඔය අතරයි බුරුම ධර්ම සංගායනාවට යන්න සිද්ධ වුණේ. ඒ අතර හදිසියේ මෛත්‍රීමූර්ති අපවත් වුණා. බුරුමයෙන් මහාසී සියාඩෝ තෙරුන් විසින් කඳුබොඩ භාවනා මධ්‍යස්ථානයට එවූ සුජාත තෙරුන් වහන්සේ ගැන දැන ගන්න ලැබී මට හිතුණා ඒ තෙරුන් වහන්සේ ළඟ විපස්සනා භාවනා ක්‍රමය පුරුදු කරන්න ඕනෑ කියලා. මෙය සිදු වූයේ ජර්මන් ධර්මදූත ආශ්‍රමය ආරම්භවූ අවස්ථාවේදියි. ඉතින් මාත් මගේ ශිෂ්‍යයන් දෙනමකුත් කඳුබොඩට ගියා. ඒ දෙනම සුමතිපාල තෙරුන් යටතේ භාවනාව පුරුදු කළා. මේ දවස් වල බුරුමයෙන් ලංකාවට පුරුදු කළ බඩේ පිම්බීමේ හැකිලීමේ භාවනා ක්‍රමයයි එහි තිබුණේ. ඒ ක්‍රමයට විරුද්ධව සමහර භික්ෂූන් පත්තරවල ලියුම් පවා පළ කළා. මේ අරගලය තියෙන විටයි මා එහි ගියේ.
සුජාත තෙර මහා ධර්මධරයෙක්. ඒ වගේම හොඳ පාලි පඬිවරයෙක්. මා උන්වහන්සේ සමග කථා කළේ පාලි භාෂාවෙන්. උන්වහන්සේ මගෙන් ඇහුවා උදරයේ උස් පහත් වීමේ භාවනාව කරන්න කැමතිද? වෙන එකක් කැමතිද? කියලා. සතිපට්ඨාන සූත්‍රාදියේ ආශ්වාස ප්‍රාශ්වාස වායුව අරමුණු කොට සිහිය පිහිටුවා භාවනා කිරීම කෙලින්ම උගන්වලා තිබියදී බුදුරජාණන්වහන්සේ නොවදාල බඩේ පිම්බීමටත් හැකිලීමටත් ප්‍රධාන තැන දෙමින් මේ උගන්වන ක්‍රමය මට නම් එච්චර හිතට ඇල්ලුවේ නැහැ. සතිපට්ඨාන සූත්‍රයෙහි ශරීරයේ එක් තැනක් අල්ලාගෙන එබඳු භාවනාවක් කිරීමේ නිදහස තියෙනවා. බඩේ පිම්බීමේ හා හැකිලීමේ ක්‍රමයට අරමුණු කිරීමට මා කැමති නැති බව ඒ තෙරුන්ට කිව්වා. එතනදී උන් වහන්සේවදාලා ‘ඔබ වහන්සේ මෙතෙක් පුරුදු කළ භාවනාවක් ඇතොත් එයම පුරුදු කරන්න’ කියලා. මා පුරුදු කරලා තිබුණේ ධාතු කර්මස්ථානය. ශරීරයේ රූප කැඩි කැඩී, බිඳි බිඳී යාම අරමුණු අනුව චිත්ත විථින් වෙනස්ව යෑම කියන මේවා බොහොම අමාරුවෙන් අල්ලාගෙන ඒ භාවනාව පුරුදු කරලා තිබුණේ. සුජාත තෙරුන්ට මේ බව කිව්වාම උන්වහන්සේ වදාළා ‘ඒක බොහොම හොඳයි ඒකම පුරුදු කරන්න’ කියලා.
උදේ හිට රෑ වනතුරුත්, රාත්‍රියෙහි දොළහ වෙනතුරුත්, සක්මනෙහි යෙදෙමින් ඒ භාවනාව මා පුරුදු කළා. ඉඳගන්නේ නැතිව මුළු දවසම සක්මන් කිරීමේ හැකියාව මට තිබුණා. මට වෙහෙස දැනුණේ නැහැ. ඒ භාවනා කිරීමේදී විශේෂ අමුත්තක් දැනුණම මා ඒ බව සුජාත තෙරුන්ට කියනවා. උන්වහන්සේ අටුවාවෙන් ටිකාවෙන් හෝ පෙළෙන් විස්තර අරගෙන මට ලැබුණ, ඒ තත්වය පහදා දෙනවා.
මාස දෙක තුනකින් මගේ විපස්සනාව නැගිලා උදයව්‍යය ඤාණාදිය ලැබුණා. අන්තිමේදී මට හැම දෙයක් කෙරෙහිම උපේක්ෂාව ඇති වුණා. එය ඉතා බලවත්ව හිතේ ඇති වුණා. මා ලබා ඇති ඒ තත්වය ‘සංඛාර උපෙක්ඛා ඤාණය‘ කියා සුජාත තෙරුන් මට පැහැදිලි කර දුන්නා. ඒ වගේම තව දුරටත් එය පුහුණු කරන්න කියා උන්වහන්සේ මට උපදෙස් දුන්න. ඉතින් මා දිගටම එය පුරුදු කළා. එසේ උත්සාහ කළත් මට ඒ මට්ටමින් එහාට යන්න බැරි වුණා.
“ඉතින් කරුණු ඔහොම සිද්ධ වුණත් වජිරාරාමයේ කස්සම තෙරුන් හෙම භාවනා ක්‍රම පිළිබඳව පළ කොට තිබූ පොත්වල මටත් දොස් කියා තිබුණා. බඩේ පිම්බීම හැකිලීම පිළිබඳ භාවනාවටත් දොස් කියා තිබුණා. මා ඒවා හරිගස්සන්න ගියේ නැහැ. මගේ භාවනාව මා හොඳට දන්න නිසා මා ඒ ගැන වැඩිය හිතුවෙත් නැහැ. වාද අවශ්‍යය නැහැ. එතකොට ද්වේෂය ඇති වෙන්න ඉඩ තියෙනවා. සුජාත තෙරුන්ගේ දේශනාව ඉතාම රමණීයයි. වජිරාරාම ඇත්තන්ගේ කෑගැහිල්ලෙන් මා කම්පිත වුණේ නැහැ. තරහ ගත්තෙත් නැහැ. මගේ මාර්ගයේ මා දිගටම ගියා. මේවා මා කළෙත් රහසේයි. මගේ භාවනාව පිළිබඳ රටට දැන්වීමට මට ඕනෑ කළේ නැහැ. ඔය මගේ යට ගියාවේ සිද්ධියක්. මගේ ජීවිතයේ වැදගත් අවස්ථාවක් ඕක.
මේ කාලයේ මාර්ග ඵල ලබන්න පුළුවන්ද? එයට බාධාවක් තියෙනවද?
“ත්‍රිහේතුක උත්පත්තිය ලැබූ කෙනකු උත්සාහ කළොත් බැරිවෙන්නේ නැහැ.
උද්ඝටිතඤ්ඤු,
විපටිතඤ්ඤු,
ඤෙය,
පදපරම
කියලා පුද්ගලයන් හතර දෙනෙකු ඉන්නවා. බුදුහාමුදුරුවන්ගේ මුල් අවුරුදු විස්සේදී වැඩි දෙනාඋද්ඝටිතඤ්ඤපුද්ගලයෝ. ඒ අය බුදුහාමුදුරුවන්ගෙන් බණ අහන ක්ෂණයකින් නිවන් ලබන්න පුළුවන් පිරිස.
ඊළඟ අය (විපටිතඤ්ඤු) ටිකක් විස්තර කරන කොට තමයි ඒ අවබෝධය ලබන්නේ. ඒ අයත් නිවන් අවබෝධ කළා.
බොහෝ දෙනා ඤෙය කොටසට ඇතුලත් අය. මාර්ගය ඔස්සේ ඉස්සරහට යැවිය යුතු අයයි. අර චක්ඛුපාල හාමුදුරුවන් වැනි අය. ඒ අයට උපදෙස් දිදී මග පෙන්නන්න ඕනෑ. ඤෙය පුද්ගලයන්ගෙ කාළය මේ පන්දාහ අවසානය දක්වාම තියෙනවා. මාගේ අදහස අනූව ඒ නිසා තමයි අට්ඨකථා කාරයන් සසුනේ කාලසීමාව පන්දාහයි අවුරුදු කියලා තියෙන්නේ.
පදපරම කියන අයට මේ ආත්මයෙදි නිවන් දකින්න බැහැ. ඒ අයට ඒකට සෑහෙන තරම් පාරමිතා සම්පූර්ණ කරන්න වෙලා, මෝරලා නැහැ. තව බොහෝ කාලයක් ඒ අය මහන්සි ගන්න ඕනෑ.
ඒ අය තමන්ගෙ ශක්ති පමණින් ගුණධර්ම පුරුදු කරනවා. ඒවා ප්‍රත්‍යය වෙනවා ඊළඟ ආත්මයට. ඉතින් ඒ අයට මතු ආත්ම ගණනාවකදීවත් බැරි වුණොත් මෛත්‍රෙය බුදුහාමුදුරුවන්ගේ කාලෙ තමයි ඒකට අවස්ථාව ලැබෙන්නෙ. මේ කාලේ තවම සෝවාන් වෙන්න බැරි කමක් නැහැ. සමහර තැනක රහත් වෙන්න පුළුවන් අයත් ඉන්න පුළුවන්.
ඔය විදියට මාර්ග ඵල ලාභීන් ඉන්නවා. ලංකාවෙ විතරක් නෙවෙයි එංගලන්තය වැනි රටවලත් ඉන්න පුළුවන්. එංගලන්තයේ ග්‍රෙට් ගැඩස්ඩන්හි අමරාවතී විහාරයේ ඉංග්‍රීසි ජාතික භික්ෂූන් වහන්සේලා කොපමණ ඇල්මකින් විපස්සනාව වැඩීමේ යෙදෙනවාද කීවොත් උදේ දානේ වළඳලා ඉඳ ගත්තාම දවල් පිණ්ඩපාතේ යන වෙලාව දක්වාම භාවනානුයෝගීවයි ඉන්නේ. ආපහු දවල් වළඳලා ටිකක් විවේකයෙන් ඉඳලා නැවත සවස පහමාර වෙනකල් භාවනානුයෝගීවයි ඉන්නේ. නැවතත් රාත්‍රියේ බුදුන් වැඳලා ඉඳ ගත්තාම රෑ දොළහ වෙනකල්, ඇතැම් දෙනා රෑ දෙක වෙනකල්, සමහරු එළිවෙනතුරු ඉඳිමින් සක්මන් කරමින් භාවනා කරනවා.
ඉතින් ඔය විදිහට ඒ අය දැඩි වෙහෙසක් ගන්නවා. මේ අය අතර මාර්ග ඵල ලබාපු අය නෑ කියලා කියන්න බැහැ. තායිලන්තයේ (සියමේ) ආරණ්‍යවල, බුරුමේ විපස්සනා ස්ථානවල, පුදුම තරමේ උත්සාහවන්ත භාවනානුයෝගීන් ඉන්නවා. ඒ අය අතර මාර්ගඵල ලාභීන් නැහැ කියලා කියන බැහැ. ඇති. ප්‍රසිද්ධ නැහැ. මහව පන්සලේ ඉඳලා අපවත් වුණ සුමේධ තරුන් වහන්සේ වගේ අය හරිම ගුණ සම්පන්නයි. ඉතින් ඒ වගේ අය තමන් මාර්ගඵල ලැබුවත් කියන්නේ නෑනේ. උන්වහන්සේ ගැන මා පොඩි කාලේ ඉඳන්ම දන්නවා. මා ළඟත් බළන්ගොඩ පිරිවෙනේ ටික කාලයක් හිටියා. ඒ හිටියේ විසුද්ධි මාර්ගයේ විස්තර ටිකක් දැනගන්න. ඒ කාලයේත් දවසේ වැඩි කාලයක් භාවනානුයෝගීවයි හිටියේ.
සමථ භාවනාවෙන් ධ්‍යාන උපදවා නොගෙන විදර්ශනා වඩල මාර්ග ඵල ලබන්න පුළුවන්ද?
සාර සංග්‍රහ පාලියේ, සමථ විපස්සනානං විභාවනා, කියලා පරිච්ඡේදයක් තියෙනවා. ඒකේ තියෙනවා විපස්සනාව වඩන්න පටන් ගත්තාම ‘ඛනික සමාධිය’ඇති වෙනවා කියලා. සමථයක් නැති විපස්සනාවක් නැහැ. නමුත් විපස්සනාව පටන් ගන්නා මොහොතේ ඉඳලම සමථය තියෙනවා ක්ෂණිකව. යම් අරමුණක් ගත්තාම සිත එකඟ වෙනවා ඒ වෙලාවට. ඒක තමයි ඛණික සමාධිය කියන්නේ. අපි හිතමු කිසිවකු විපස්සනාව වඩලා සෝවාන් වෙනවා කියලා. එතකොට ස්වභාවයෙන්ම ප්‍රථම ධ්‍යානය එයාට ඇති වෙනවා. ඒ කියන්නේ සෝවාන් වීමේදී විචිකිච්ඡා සීලබ්බතපරාමාස ද්ට්ඨි ඔය කියන ඒවා මුලසුන් වෙනවානේ. එතකොට අනිත් ක්ලේශයන්ට මොකද වෙන්නේ? සෝවාන් වෙන මොහොතේ අනිත් කෙලෙස් (නීවරණ) යටපත් වෙනවා. මේ විදියට විපස්සනාව වඩන හැම අයටම ප්‍රථමධ්‍යානය ස්වභාවයෙන්ම ඇති වෙනවා. අන්න ඒ නිසා තමයි සෝවාන් වුණාට පසුව සමහරුන් ද්වීතීය ධ්‍යාන ආදී ඉතිරි ධ්‍යාන සඳහා වැඩුවේ. ඒවා ලබන්න භාවනා කරන්න ඕනෑ.”
(ඉත්තෑපාන ධර්මාලංකාර හිමි විසින් රචිත “බුදුබව පතන බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමි” ග්‍රන්ථයෙන් උපුටා ගැනුනි.)
No comments:
Post a Comment