Sunday, October 22, 2017

ධාතූන් වහන්සේලා වන්දනාවෙන් ලැබෙන පින



බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව උන්වහන්සේ සිහිකරවමින් වන්දනාමාන කිරීමේ අවස්ථාව ලබාදීමටයි උන්වහන්සේ ධාතූන් වහන්සේලා පිහිටන ලෙස අධිෂ්ඨාන කරන්නේ.

එතැනින්ම පැහැදිලි වෙනවා මේ කියන කාරණය. යමෙක් බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා වන්දනා කෙරේද ඔහුට ජීවමාන බුදුරජාණන් වහන්සේට වන්දනා කිරීමෙන් ලබාගන්නා පිනම රැස් කරගන්න පුළුවන්.

ඒ වගේම යමෙක් ඉතා කුඩා වූ ධාතූන් වහන්සේ නමකට අල්ප වූ පූජාවක් කෙරේද එමගින් ජීවමාන බුදුරජාණන් වහන්සේට පූජා පැවැත්වීමෙන් ලැබෙන පින රැස්වීමට අවස්ථාව ලැබෙනවා.

මේ පින සම්බන්ධ විවිධ කතා වස්තූන් බෞද්ධ දේශනාව තුළ සඳහන් වෙනවා. විමාන වත්තු හි සඳහන් වෙන කතාවක් මම ඔබට පැහැදිලි කරන්නම්.

අනුකල්පයකට පෙර මෙලොව පහල වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ අඹ ඇටයක් තරම් කුඩා ධාතූන් වහන්සේනමකට තුන් සිත පහදවාගෙන වන්දනා කිරීමේ පිනෙන්ම කල්ප අනූවක් පුරාවට දෙව්ලොව දිව්‍ය සැප සම්පත් විදීමේ අවස්ථාව හිමිවුණා.

යමෙකුට සුගතියට යාමට සිදුකළ හැකි මහා පිංකමක් ලෙස ධාතූන් වහන්සේලා වන්දනාව හඳුන්වන්න පුළුවන්.

ඒ වගේම ධාතූන් වහන්සේලා වන්දනා කිරීමෙන් කල්ප සිය දහස් ගණනක් දුගතියට පත් නොවී දෙව් මිනිසුන් අතර සැප සම්පත් විඳපු අවස්ථා, චරිත කතා ත්‍රිපිටකයේ බොහෝ තැන් තුළ සඳහන් වෙනවා.

ඒ නිසාම ධාතූන් වහන්සේලා වන්දනාව මෙලොව යහපත් කර දෙන, පරලොව සුගතිය ඇති කරන මහා වන්දනාවක් ලෙස අපට හඳුන්වන්න පුළුවන්.

බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගය සම්පූර්ණයෙන් නිවන පදනම් කරගත් මාර්ගයකි. ඒ නිසාම මේ සෑම දෙයකම කෙළවර විය යුත්තේ උතුම් වූ ධර්ම අවබෝධයයි. ධාතූන් වහන්සේලා වන්දනාව මෙලොව පරලොව සුභසිද්ධිය පවතින පින්කමක් වගේම නිවන අරමුණු කරගන්න පුළුවන් පින්කමක් ලෙස හඳුන්වන්න පුළුවනි.

ධාතූන් වහන්සේලා සම්බන්ධයෙන් කටයුතු කරන විට ඉතාම කාරුණාවෙන් කටයුතු කළ යුතු වෙනවා සේම එය අවධාරණයෙන් කළ යුතුයි. ධාතූන් වහන්සේලා සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී අල්ප වශයෙන් සිත පහදවා ගැනීමෙන් ලැබෙන පින වගේම තමයි ධාතූන් වහන්සේලා සම්බන්ධයෙන් හිත පහදවා ගත්තෙ නැතිනම් එයින් ලැබෙන විපාකයත් දරුණුයි. ධාතූන් වහන්සේලා යොදා ගනිමින් වෙනත් අරමුණු ඉටුකර ගැනීමට යමෙක් උත්සාහ කරනවා නම් අපිට හිතා ගැනීමට නොහැකි දරුණු විපාකවලට අපි පත්වෙනවා.  ඒ නිසා ධාතූන් වහන්සේලා ප්‍රදර්ශන පවත්වනවා වෙනුවට එය ධාතූන් වහන්සේලා වන්දනාවක්ම කරගත යුතු වෙනවා.

ධාතූන් වහන්සේලා කෙරෙහි සැකය උපදා ගැනීම අපි නොකළ යුත්තක්.

ලංකාවේ ධාතූන් වහන්සේලා හැමතැනම වැඩ ඉන්නවා. නමුත් ඒ ධාතූන් වහන්සේලාට කියන්න පුළුවන් ඉතිහාස කතා තිබෙනවා. කේශ ධාතූන් වහන්සේලා හැරෙන්නට මේ සියලු ධාතූන් වහන්සේලා ලැබෙන්නේ මහා පරිනිර්වාණයත් සමගයි.ධාතූන් වහන්සේලා වන්දනාව කියන්නේ මෙලොව යහපත වගේම පරලොව සුභසිද්ධිය උදෙසා පවතින මහා පිනක්. උතුම් වූ නිවන් දොරටුව විවර කරන මහා පින්කමක්. 

ගත්තෙ මෙතනින්  Ada.lk


1 comment:

  1. Diwyaloka thiyenne hariyatama kthanade kiyala kawru hari dannawade?

    ReplyDelete