Monday, October 23, 2017

දැක සංවේග උපදවා වැඳුම් පිදුම් කළ යුතු පුද බිම් සතර





ආනන්ද තෙරුන් වහන්සේ විසින් බුදුරජාණන් වහන්සේගෙන් අසන ලද ප්‍රශ්නවලට ද බුදුරජාණන් වහන්සේ දුන් පිළිතුරු මෙකල පවා ඉතා ප්‍රකටය. බුදුරජාණන් වහන්සේ හා සම්බන්ධ වූ අසිරිමත් ස්ථාන සතරක් පිළිබඳව ද, ඒවා වැඳුම් පිදුම් කිරීමේ අනුසස් ද බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. එකල ජම්බුද්වීපයට මෙකල රටවල් කීපයක් ඇතුළත් වේ. බුදුරජාණන් වහන්සේ පිළිබඳ සංවේදනීය වූ ස්ථාන සතර අද ඇත්තේ නේපාලයේ සහ ඉන්දියාවේ ය.
ආනන්ද තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් අසන ලද ප්‍රශ්නය අනාගතය සඳහා කොපමණ වැදගත් වන්නේද? යන්න මෙම සංවාදයෙන් පැහැදිලි වන කරුණකි.
“පෙර විවිධ දිශාවල වස් විසූ භික්ෂූහු තථාගතයන් වහන්සේ බැලීමට එති. මනස දියුණු කළ ඒ භික්ෂූන් වහන්සේ අපට ඇසුරු කිරීමට ලැබුණි. භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් ඒ අවස්ථා නොලැබෙනු ඇතැයි ආනන්ද තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේට පැවසූහ. එවිට බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් අමතා මෙසේ වදාළ සේක.
“සැදැහැවත් කුල පුත්‍රයෙකුට දැකීමට සුදුසු සංවේග දැනවීමට සුදුසු ස්ථාන හතරකි. ආනන්දය ඒවා නම්
1.මෙතැන්හි තථාගතයන් වහන්සේ උපන්නෝ යැයි සැදැහැවත් කුල පුත්‍රයෙකුට දැකගැනීමට සුදුසු සංවේග දැනවීමට සුදුසු ස්ථානයකි.
2.මෙතැන්හි තථාගතයන් වහන්සේ අනුත්තර සම්මා සම්බෝධියට පත් වූවා යැයි සැදැහැවත් කුලපුත්‍රයෙකුට දැක ගැනීමට සුදුසු සංවේග දැනවීමට සුදුසු ස්ථානයකි.
3.මෙතැන්හි තථාගතයාණන් විසින් අනුත්තර ධර්මචක්‍රය පැවැත්විනැයි සැදැහැවත් කුලපුත්‍රයෙකුට දැකගැනීමට සුදුසු සංවේග දැනවීමට සුදුසු ස්ථානයකි.
4.මෙතැන්හි තථාගතයාණෝ අනුපදිසේස පරිනිර්වාණයට පත්වූහයි සැදැහැවත් කුලපුත්‍රයෙකුට දැකීමට සුදුසු සංවේග දැනවීමට සුදුසු ස්ථානයකි.
මෙතැන දී තථාගතයාණෝ උපන්නෝ ය. මෙතැන දී තථාගතයාණෝ සම්මා සම්බෝධියට පත් වූවෝය. මෙතැනදී තථාගතයාණෝ ධර්ම චක්කය පැවැත්වූහ. මෙතැනදී තථාගතයාණෝ අනුපාදිසේස පරිනිර්වාණයට පත්වූහ යයි සැදැහැවත් භික්ෂු භික්ෂුණීහු, උපාසක, උපාසිකාවෝ පැමිණෙන්නෝ ය. යමෙක් චෛත්‍යය වන්දනාවේ යෙදෙමින් ප්‍රසන්න සිතින් යුතුව කාලක්‍රියා කරන්නෝද සියලු දෙනා කය බිඳී මරණින් මතු සුගතියෙහි උපදින්නෝ ය.
(මහා පරිනිබ්බාන සූත්‍රය – සිංහල පරිවර්තනය සනත් නානායක්කාර – පි. 75-76 (1999) බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය
ආනන්ද තෙරුන් වහන්සේ තව තවත් ඒ භාග්‍යවතුන් වහන්සේගෙන් අසන ලද ප්‍රශ්න කීපයක් සහ ඒ සඳහා බුදුරජාණන් වහන්සේ වදාළ කරුණු කීපයක් ද මහාපරිනිබ්බාන සූත්‍රයෙහි සඳහන් වේ.
මහා පරිනිබ්බාන සූත්‍රයෙහි සඳහන් වන අන්දමට ආනන්ද තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ ද ඇසුවේ ය. ඒ තථාගතයාණන් වහන්සේගේ ශ්‍රී ශරීරය පිළිබඳ කෙසේ නම් පිළිපැදිය යුතු ද? යනුවෙනි. ඒ සඳහා භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“ආනන්ද, තථාගතයාණන්ගේ ශරීර පූජාවෙහි නිරත විය යුතු නැත. ඔබ සැම ඔබේම යහපත පිණිස වෙර දරන්න. නියැලෙන්න. තමන් ගේ යහපත පිණිස අප්‍රමාදව වීර්යවන්තව අධිෂ්ඨානයෙන් යුතුව කැපවන්න. තථාගතයාණෝ කෙරෙහි බෙහෙවින් පැහැදුණු ක්ෂත්‍රිය , බ්‍රාහ්මණ ගෘහපති නැණවත්හු වෙති. ඔව්හු තථාගතයාණන්ගේ ශරීරයට පූජා පවත්වන්නෝ ය.
මහා පරිනිබ්බාන සුත්ත පි. 220)
බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ වැඩසිටිමින් පවා දෙසන කරුණු බුදු සසුනේ අනාගතය දැක වදාරණ ලද බව ඉතා පැහැදිලිව දක්නට ලැබෙන්නේ මහා පරිනිබ්බාන සූත්‍රය නිසි අවධානයකින් අධ්‍යයනය කරන විට දී බුදුසසුනේ අනාගතය භාග්‍යවතුන් වහන්සේගේ අවධානයට කොතෙක් ගැඹුරින් යොමුවී තිබුණේ ද යන්න එම කරුණුවලින් අවබෝධ වේ.
පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ
හිටපු සහූකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ
සිරිසමන් විජේතුංග
පුරාවිද්‍යා Msc පර්යේෂණ

Budu Maga

1 comment: